Powered By Blogger

Monday, July 6, 2015

ආත්මානුකම්පාව

ඈතින් එන බස් රථය දුටු මම අත දමා එය නවතා ඊට ගොඩ වීමි. සතියේ දිනයක් නොවුවත් බසයෙහි බොහෝ අසුන් පිරී තිබූ අතර එක් යුගල අසුනක ජනේලය අයිනේ අසුනක් පමනක් ඉතිරිව තිබිණි. එහි  අනිත් කොනෙහි සුරූපි තරුණියක් අසුන්ගෙන සිටියාය.

මෙතන මන් ඉඳගත්තට කමක් නැද්ද?
 තරුණිය මඳක් පස්සටවී මා හට අසුන වෙත යාමට ඉඩ දෙමින් ඊට අනුමැතිය පෑවාය. මා එහි වාඩිවී ඈ දෙස බලා සිනහ වූවත් ඇය එය නොදුටුසේ අහක බලා ගත්තාය. මා ඇය සමඟ කතාවක් පටන් ගැනීමට මාතෘකාවක් කල්පනා කරන අතර බසය එක් සති අන්ත උපකාරක පන්තියක් අසල වූ නැවතුමක නැවැත්තුවේය. නැවතුමෙහි පිරීවුන් නව යොවුන් තරුණ තරුණියන් පොරකමින් බසයට ගොඩ වන්නට විය. මද වේලාවකින් බසය සම්පූර්ණයෙන්ම පිරී ගිය අතර තරුණ තරුණියන් ඔවුනොව්න් අමතන හඬින් ද සිනා වෙන හඬින් ද  බසය පිරී ගියේය. තරුණිය නොපහන් මුහුණින් යුත්ව ඔවුන් දෙස රවා බැලුවාය.

කනක් ඇහිල ඉන්න නෑ නේද?
 ඈ සමඟ කතාවකට මුලපුරන අදහසින් මා විමසුවත් කිසිත් නොපැවසූ ඇය යලි ඉදිරිය බලා ගත්තාය.  එය දුටු අසල උන් සිසුවියන් පිරිසක් මා දෙස බලා සිනාසෙන්නට විය. සිදුවූ ලැජ්ජාව දරා ගනිමින් එය නොදුටු ලෙස මමද ඉදිරිය බලා ගතිමි. මේ අතර එක් නැවතුමකින් අවුරුදු හැටක පමණ පෙනුමක් ඇති පුද්ගලයෙක් බසයට ගොඩවී ඉදිරියෙහි වූ නව යොවුන් තරුණියන්ගේ සිරිරුවල අසාමාන්‍ය ලෙස ගැටෙමින් ඔවුන්ගේ රැවිලි ගෙරවිලි වලට මුහුණ පාමින් අප සිටි අසන අසලටවිත් අසුන අල්ලා ගෙන තරුණියගේ සිරුරෙහි ගැටෙන ආකාරයට නැවතුනේය. තරුණිය මහත් අප්‍රසන්නතාවයෙන් යුතුව ඔහු දෙස රවා බලා ඔහුගෙන් මඳක් පසකට විය. ඔවු මේ පැමිණ ඇත්තේ මාගේ වාරයයි. ඇය ඉදිරියේ වීරයෙකු වීමෙන් ඇය සමඟ කතා කිරීමට පමණක් නොව සමහරවිට ඇය සමඟ සබඳතාවයක් ද පටන් ගත හැක.

නංගි ඔතන ඉන්න බෑ නේද? ඔයා මේ පැත්තෙන් ඉඳගන්න. 
මුන්ගෙ වයසට නෙමෙයි වැඩ. කොහෙන් හරි කෙල්ලෙක්ට හේත්තුව දාන්න හමා බලන්නෙ. තමුසෙට මේ වයසෙ ලමයිනුත් ඇති නේද ඕයි.
 මම මහ හඬින් පැවසුවෙමි. වටින් පිටින් මගේ කතාව අනුමත කරන හඬවල්ද ඇසෙන්නට විය. මහලු පුද්ගලයා මහත් ලැජ්ජාවෙන් යුතුව බසයෙන් බැස ගිය අතර තරුණිය සිනාමුසු මුහුණින් මා සමඟ කතාව ආරම්භ කලාය.
                                                                     ***
                                               උදේම දියණිය බැලීමට පිළිකා රෝහලට ගිය මම යලි නිවසට යෑමට බසයක් එනතුරු බස් නැවතුමෙහි බලා සිටියෙමි. දියණිය රෝහල් ගතකලදා සිට හරිහමන් නින්දකුත් කුස පිරෙන්න ආහාරයකුත් නොලබා සිටි මගේ සිරුර මටම අවනත නොවන සෙයකි. මීට වසර දෙකකට පමණ පෙර මාගේ බිරිඳ මාගෙන් උදුරා ගත් පිළිකා මාරයා මගේ දියණියද තමන්ගේ ග්‍රහණයට ගෙන ඇත්තේ මා පෙර ආත්මයක කල කර්මයක් නිසා විය යුතුය.
                                           බිරිඳ දිවියෙන් සමුගත් පසු මා ජීවත් වූයේ මගේ දියණිය වෙනුවෙන්‍ ය. ඇයත් මාගෙන් වෙන්වී ගියහොත් මා ජීවත් වන්නේ කුමක් සඳහාද? මාගේ දෙනෙත් කඳුලින් බරවී ගියේ මටත් නොදැනීමය. රෝහලෙන් දුන් තුන්ඩුවෙහි වූයේ දියණිය සඳහා නියම කරන ලද එන්නතකි. රෝහලෙහි එය නොමැති නිසා එය පිටින් මිලදී ගත යුතුය. ඒ සඳහා ප්‍රමානවත් මුදලක් මා අත නැත.
                                      විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන මා මාගේ බිරිඳ වෙනුවෙන්  සියලුම සේසත වියදම් කර ඈ සුවපත් කර ගැනීමට උත්සාහ කලෙමි. බිරිඳ මියයන විට මා හට ඉතිරි වූයේ අප පදිංචිව සිටි නිවස පමණකි. ගුරුවරියක වූ තවමත් අවිවාහක මාගේ දියණියගේ ප්‍රතිකාර වෙනුවෙන් මේ වන විට පදිංචි නිවසද උගස් කර ඇත. එයින් ඉතිරිව ඇති මුදල බැංකුවෙන් ගෙන දියණියට අවශ්‍ය එන්නතද රැගෙන හෙට උදෑසනම  රෝහලට යායුතුය.
                                    මෙලෙස කල්පනා කරමින් සිටින විට සෙනඟ පිරී ගිය බසයක් නැවතුමෙහි නවත්තන ලදී. බොහෝ අමාරුවෙන් එයට ගොඩවූ මම ඒ මේ අත විසි වෙමින් මගීන්ගේ රැවිලි වලට මුහුණු දෙමින් බැණුම් අහමින් බසය තුලට ගොස් සිරුරෙහි වූ අප්‍රණිකත්වය නිසා එක් අසුනකට වාරු වුනෙමි. එම අසුනෙහි වාඩිවී වුන් තරුණිය මා දෙස රවා බලමින් මගෙන් ඈත්විය. ඒ සමඟම තරුණිය සමඟවාඩිවී වුන් තරුණයා මහත් රලු වදනින් මා හට දොස් කියන්නට වූ විට බසයෙහි වුන් අනිත් මගීන්ද එයට එකතු විය.මා කෙරෙහිම ඇති වූ අත්මානුකම්පාව නිසා මාගේ දෙනෙත් කදුලින් තෙත් විය. මාගේ ජීවිතය තුල මේ සා ලැජ්ජාවකට පත්වූ ප්‍රථම අවස්තාව මෙයයි. කඳුලු සඟවා ගත් මම  තවත් ඇනුම් බැණුම් අසා සිටීමට නොහැකි තැන බසයෙන් බැස ගත්තෙමි.

No comments:

Post a Comment